(නො)හැකියාව

හැම තිස්සෙ ම මට ඇහෙන දෙයක් තමයි, “කළ නො හැක්කක් නොමැත.“ කියන කතාව. ඒක ඒහෙම ද? 😒

පුරුද්දක් විදිහට මම හැම තිස්සෙම වගේ හිතන්න පටන්ගන්නෙ, අහලා-තියෙන, කවුරුත්-කියන, (සම්)මතයට, ප්‍රතිවිරුද්ධව.
“ඇත්ත! නේ ද!!“ කියලා හිතන්නෙ නැතිව මම “එහෙම ද???“ කියලා සැකෙන් බලනවා. එතකොට තමයි මට පේන්නෙ කවුරුත් පිළිගන්න, ගරු කරන දේවල් වල තියෙන වැරදි.
“කළ නො හැක්කක් නොමැත.“
“එහෙම ද? :/“
හඳ අල්ලන්න … පුළුවන්
තරු ගලවන්න … simple
ඔහොම හිතාගෙන යනකොට යනකොට යනකොට … (මට මීට වැඩිය type කරන්න කම්මැලි යි.) … යනකොට …
මම උපකල්පනය කළා, “කළ නො හැක්කක් නොමැත.“ කියලා. හ්ම්.
ඒ කියන්නෙ මට පුළුවන් වෙන්න ඕනෙ, “කළ නො හැක්කක් නොමැත.“ කියන එක බොරු කරන්න. 😃
මට ඒක කරන්න පුළුවන් නම්, ඒ කියන්නෙ, කළ නොහැකි දේවල් තියෙනවා.
තවත් විදිහක් කිව්වොත්, මට පුළුවන් වෙන්න ඕනෙ කළ නො හැකි දෙයක් සොයා ගැනීම. ඇයි?, ඕනෙ ම දෙයක් කරන්න පුළුවන් කියලා උපකල්පනය කළා නෙ. 😝
අන්තිමට බලද්දි, self-referencing paradox එකක් වගේ පේන්නෙ.
කොහොම වුනත්, මම කැමති යි කෙහෙල්මල් positive thinking වලට වඩා ඇත්ත තත්ත්වෙ ට. 😇

ඩයිනසෝර්ලා අදත් හිටියනම්…,

ප්‍රවෘත්ති

ඇසළ පෙරහැරේ බ්‍රැකියෝසෝරස් සතෙකු කුලප්පු වීමෙන් ඩයිනසෝර්ගොව්වන් දොළසකට තුවාළ. දෙදෙනෙකුට බරපතල යි.
වෙලෝසිරැප්ටරයන් ගම්වැදීම නිසා සිදුවන ජීවිත හා දේපළ හානි ඉහළට.
විදුලි වැටක් ලබා දෙන්න – ගම්වැසියෝ කියති.
වන විනාශය මූලික ම හේතුව යි – පරිසර සංවිධාන වලින් චෝදනා.
…අං සඳහා දඩයම් කිරීමෙන්, ට්‍රයිසෙරාටොප්ස් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. …

දැන්වීම් පුවරු

අන්ත්‍රාවයි!
ඉගුවානොඩොන්ගෙන් ප්‍රවේශම් වන්න.
මෙම ස්ථානයේ දිය නෑමෙන් වළකින්න.

ඉතිහාසය

…විශේෂයෙන් ම කාශ්‍යප රජතුමා මෙම ස්ථානය කරවා ඇත්තේ ටී. රෙක්ස් කෙනෙකුගේ හකුපාඩා ආකාරයට. කොටසක් විනාශ වී ඇති නමුත්…

3 වසර – සිංහල

මගේ සුරතලාගේ නම තඩියා. ඌ ඉයෝරැප්ටරයෙකි. ඌ හරිම හොඳයි. මා පාසල් ඇරී ගෙදර එන තුරු මග බලා සිටී.

පරිසර වැඩසටහන

… ඔබ මේ දකින්නේ කුණු ආහාරයට ගන්නා ඩිප්ලොඩොකස් සතුන්. මේ දැවැන්තයා ආහාරයට ගන්නා කැළිකසළ වල ඇති පොලිතීන් නිසා විවිධ රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා …
… ඔව්, නමුත් ආහාර ජීර්ණ පද්ධතියේ විශාලත්වය නිසා ඉතාම කළාතුරකින් තමයි සිරවීමක් දකින්න ලැබෙන්නෙ …

නිදහසත් බොරුවක් ද?

අපි නිදහස වෙනුවෙන් අර්ධ-සහස්‍රයක පමණ කාලයක් යුද්ධ කළෙමු. අප දිනාගත්තේ කුමක් ද? ඇයි, නිදහස! එසේ නම්, කොහි ද ඒ උතුම් නිදහස? oops… සොයාගත නො හැකි ව ද? Smile with tongue out  නිදහස: “කිසිදු බාහිර බලපෑමකට යටත් නො වී සිතීමටත්, කටයුතු කිරීමටත් ඇති හැකියාව නිදහස යි.” ඔබ කියනු ඇති. sure ද? මම අසමි. අසරණයාගේ නො දන්නාකමට අනුකම්පා කළ මැනැවි! Winking smile ඉහත අර්ථ දැක්වීම සත්‍ය නම්, අපට ඒ නිදහස නැත. මන්ද, යත්: සමහර වැරැදි යැ යි අර්ථ දක්වන ලද දෑ නො කිරීමට අප බැඳී සිටින බැවිනි. එ මෙන් ම, ඕනෑ ම දෙයක් සිතීමේ නිදහස පවතින්නේ ද, සිතිවිලි කියැවිය හැකි යන්ත්‍රයක් නිපදවා, වැරැදි (යැ යි සම්මත) දේ සිතීම වළක්වන පනතක් ගෙනෙන තුරු පමණී. Surprised smile “ව්‍යවහාර වර්ෂ 1505 සිට (ඇතැම් විට ඊටත් පෙර සිට) ලේ කඳුළු වගුරා ලබාගත් නිදහස තා විහිළුවකට ගත්තෙහි ද?“ Annoyed ඒ පැනය ඔබෙනි. නැත! එහෙත් ඒ නිදහසත්, අනෙකුත් සියලු දේත් පිළිබඳ ව සිතන්නට තවත් බොහෝ කරුණු තිබේ.

නිදහස ගැන මමත් යමක් දනිමි. Light bulb නිදහස යනු වචනයකි. වචනයක් ම පමණක් නොවූවත්, මිනිසුන් විසින් සාදාගන්නා ලද සංකල්පයක් පමණෙකි! සැබෑ පැවැත්මක් ඇති දෙයක් නො වේ. අඩු වශයෙන්, සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි භෞතික පැවැත්මක් ඇති දෙයක්වත් නො වේ. අනෙකුත් සියලු සංකල්ප ද, සංකල්ප නො වන සියලු අනෙකුත් දෑ ද, මා මෙහි ඉදිරිපත් කරන්නට යෙදෙන සංකල්පය ද යන සියල්ල ම අපගේ සිතෙහි අප විසින් ම මවාගන්නා ලද කල්පනා මාත්‍ර පමණි. Confused smile  කොටින් ම කියතොත්: කාලය, ශක්තිය, අවකාශය, පදාර්ථය යනාදී මෙකී නො කී සියල්ල ම ඇතුළත් ඔබට පෙනෙන (? දැනෙන) ලෝකය ඔබගේ හා ඔබගේ ම පමණි. මට දැනෙන්නේ, මගේ ය. ඇත්තට ම (ඇත්තක් ද නො පවතී!) කිවහොත්, මම හෝ මගේ ලෝකය ද නො වේ; (මගේ දැයක් වේ ද, මට උවමනාකාරයට එය පැවැතිය යුතු යි යන්න අනුව) එය මට සාපේක්‍ෂ ලෝකය යි. මන්ද, අප ලෝකය දකින්නේ අප තුළින් බැවිනි.

එසේ නම්, මානව වර්ගයාගේ ආරම්භයේ සිට ම කළ යුද්ධ ඵල රහිත ද? එසේත් නැත! (එසේ පැවසීමේ වරදකුත් නැත.) Nerd smile එක් එක් පාර්ශවයන්ගේ සංකල්ප (හෝ අදහස්) විවිධාකාර බැවින්, අසාධාරණ යැ යි හෝ නැඹුරු යැ යි හෝ යුක්ති යුක්ත නො වේ යැ යි හැඟෙන අවස්ථාවල දී හෝ යමක් අරභයා කළ යුද්ධ වලින් ඔවුන්ට සාපේක්‍ෂ ව ඔවුන් (හෝ සමහර අවස්ථාවලදී අප) යමක් ලබාගන්නට ඇත. නමුත් පද්ධතියට බාහිර ව සිට පද්ධතිය දෙස බැලීමේ දී සියල්ල නිශ්ඵල බව පසක් වේ. සියලු පාර්ශව උක්ත කරුණ වටහාගත්තේ නම්, කිසිවෙකු යුද්ධ කරන්නට ඉක්මන් නො වනු ඇත.

අප විසින් අර්ථ දක්වාගත් දෑ තෘප්තිමත් කරමින් සිටින තාක්කල්, සැබෑ සත්‍යය (?) වටහාගැනීම අසීරු වනු ඇත.

අහඹුතාව

අහඹු (random) යැ යි අප හඳුන්වන සිදුවීම, සැබැවින් ම අහම්බයක් ද? නො එසේ නම්, එය යම්කිසි සාධාරණ, සාපේක්‍ෂ ව සංකීර්ණ රටාවක අවයවයක් ද?Light bulb තෙරක් නො පෙනෙන තවත් සංකල්පයකි, අහඹුතාව. ශ්‍රී ලාංකික විද්‍යාඥ ආතර් සී. ක්ලාක් මහතා ප්‍රකාශ කර ඇති අන්දමට, වටහාගත නොහැකි සිද්ධියක් පළමුවරට සිදුවීම, අහම්බයකි; දෙවන වරටත් එවන් යමක් සිදුවන්නේ නම් එය සහ-සිද්ධියකි. සිද්ධි පෙළේ තෙවැන්නත් සිදුවුවහොත්, එය කුමන්ත්‍රණයකි. Devil

කෙසේ වුවත්, අහම්බයක් යන්න ඒකලිත (isolated) පද්ධතියක දී (මෙහි දී බාහිර පරිසරයෙන් සම්පූර්ණයෙන් ම ස්වායත්ත පද්ධතියක්) අර්ථ දැක්වීම අසීරු ය. මන්ද, යත්: පද්ධතිය තුළ යමක් සිදුවීම සඳහා පවතින සාධක බලපාන බැවිනි. උදාහරණයක් ලෙස පරිගණකයක් Computer සලකමු. එහි අන්තර්ගත දත්ත, ආදාන (input), පරිගණකයේ ව්‍යුහය සහ තවත් දන්නා සාධක කිහිපයක් මත එහි ප්‍රතිදානය (output) තීරණය වේ. එනම්, තවත් එවැනි ම පද්ධතියක් (අනුපිටපතක්) නිර්මාණය කිරීම ද කළහැකි ය.

පරිගණකගත ගුප්ත කේතන (computerized cryptography) විෂයයේ දී අහඹු සංඛ්‍යා ජනක (random number genarators [RNG]) වලට ද විශේෂ තැනක් හිමි වේ. සංඛ්‍යා ජනකයේ සංකීර්ණතාව ඉහළයත්ම, කේතයේ (cipher) ආරක්‍ෂිත භාවය ඉහළ යයී. එනම්, යොදාගත් අහඹු සංඛ්‍යාව ප්‍රතිජනනය (regenerate) කිරීමේ හැකියාව පහළ යයි. ආදානයක් කිසිසේත් ම නො ගෙන, අහඹු සංඛ්‍යාවක් ලබාදිය හැකි නම් එය සත්‍ය අහඹු සංඛ්‍යා ජනකයකි. (real RNG) අනෙක් අතට ආදාන අනන්තයක් භාවිතා වේ නම් එය ද සත්‍ය අහඹු සංඛ්‍යා ජනකයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. අනන්තය යන්න සංකල්පයක් පමණක් නිසා එය කළ නොහැකිවාක් මෙන් ම, ආදානයක් කිසිසේත් ම නො ගෙන ප්‍රතිදානයක් ලබාදීම හේතු-ඵල වාදයට එකඟ නො වේ. එමනිසා, පවතින අහඹු සංඛ්‍යා ජනක සියල්ලක් ම උෂ්ණත්වය, ආර්ද්‍රතාව ආදී භෞතික සාධක හෝ, කාලය හා මිනිසුන් විසින් නිර්මාණය කරන ලද සංඛ්‍යා වගු මත රඳා පවතී. ඒවා සාපේක්‍ෂ අහඹු සංඛ්‍යා ජනක (? pseudo RNG) ලෙස හැඳින්විය හැක. Surprised smile

අවසාන වශයෙන්, යමක් සත්‍ය වශයෙන් ම අහඹු විය හැකි ආකාර තුනකි. පළමුවැන්න නම්, හේතු-ඵල වාදයට එකඟ නො වන අහේතුක සිද්ධි පැවතීම යි. දෙවැන්න නම්, එකිනෙක සමඟ අන්තර්ක්‍රියා කරන, එකිනෙක නිසා බිහිවන/වැනසෙන අනන්තයක් වූ චක්‍රීය සිද්ධි ගොන්නක එක් සිද්ධියත් වීම යි. අවසාන කරුණ නම්, මිනිසාගේ සිතීමේ හැකියාව මූලික කොටගෙන හටගත් සිද්ධීයකි. (කාබනික ද්‍රව්‍ය හටගැනීම සඳහා ජීවී ශක්තියක අවශ්‍යතාව පිළිබඳ තර්කය අකාබනික ද්‍රව්‍ය වලින් යූරියා නිපදවීමත් සමඟ බිඳ වැටුණාක් මෙන් ඉහත තෙවැනි තර්කය ද කෘත්‍රිම බුද්ධියක ආගමනය සමඟ බිඳ වැටීමට ද ඉඩ තිබේ.)

කෙසේ වුවත්, අහඹුතාව යන සංකල්පයට පැහැදිළි කිරීමක් ලබාදීම අසීරු ය. Sad smile

කාක්කා

හැමෝම කතාකරන්නෙ පරෙවියො, උකුස්සො ගැන. ඇයි ළඟ ඉන්න කාක්කා අමතක වුනා ද? කාක්කා කියන්නෙ බුද්ධිමත් සතෙක්. ඔය ගිරවු වගේ කටපාඩම් කරගත්තු එක හැම තිස්සෙ ම කියව කියව ඉන්න සතෙක් නො වෙයි. හැබැයි කන්නෙ කුණු ගොඩවල්. ඒකෙ ඉතිං වැරැද්දක් නෑ. කොච්චර හොඳ ද කසල ‍ශෝධනය? කාක්කට තියෙන්නෙ කූට බුද්ධියක්. අහලා ඇති නේ අර වතුර නැති කාලෙ කාක්කෙක් කළගෙඩියක පතුලෙ තිබුණු වතුර ටික උඩට ගන්න ගල් කැට ගෙනත් පිරෙව්වා කියන කතාව? ඒක නිකම් ම කතාවක් විතරක් නො වෙයි. බෑග් එකක zip එක ඇරලා, ඒක ඇතුලෙ තියෙන බත් පාර්සලේට හොටෙං ඇනලා හිල් කරලා කන කාක්කන් ව මම පෞද්ගලිකව දන්නවා. දවසක් කාක්කෙක් ගහක වහලා ඉන්නවා මට යාළුවෙක් පෙන්නුවා. ඒ කාක්කගේ හොට මැද්දෙන් ඔළුවත් එක්ක හිරවෙන්න rubber band එකක් වැටිලා. (හොරෙන් කන්න ගියාම ඔහොම වෙනවා.) කොහොම වුනත් කාක්කෙක් කවදාවත් තනියම බදාගෙන කන්නෙ නෑ; අනිත් කාක්කන්ටත් කතා කරනවා, කන්න එන්න කියලා. කාක්කෙක්ට අපි නරක විදිහට සැළකුවොත්, ඌට ඒක සෑහෙන කාලයක් යනකං මතක තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේ ම, ඌ ඒ ගැන අනිත් කාක්කන්ට අනතුරු අඟවනවා ලු. ලෝකෙන්ම, හමුදාවක් සංවිධානය කරගෙන සටන් කරන සත්ත්ව කොට්ඨාස තුනයි ඉන්නේ. මිනිස්සු, කූඹි සහ කාක්කෝ. උන්ගෙ සංවිධාන ශක්තිය ඉහළ යි. කාක්කෙක් වුනාට කමක් නෑ, හැබැයි සුදුපාට… 🙂

කාක්කා

Fish Bun හා මාළු පාන්

මම පාසැලේ කෙටි විවේක කාලය අතරතුර ආපනශාලාවෙන් ‘මාළු පාන්‘ යනුවෙන් හඳුන්වන කිසිවක් මිළ දී ගත්තෙමි. එම මොහොතේ ම වාගේ තවත් අයෙක් ‘Fish Bun‘ එකක් මිළ දී ගත්තේ ය. ‘Fish Bun‘ එක හා ‘මාළු පාන්‘ එක අතර පැහැදිළි වෙනසක් දකින්නට මගේ දෑස නො සමත් වී ය. ඊළඟ දිනයේ මම ද ‘Fish Bun‘ එකක් මිළ දී ගතිමි. සැබැවින් ම ‘Fish Bun‘ එක හා ‘මාළු පාන්‘ එක අතර වෙනසක් නො තිබුණි. එහෙත් මා හමුවේ ඇති බරපතළ ම පැනය නම් මේ දෙකෙහි ම යට කී ‘මාළු/Fish‘ අන්තර්ගත නො වීම යි. එබැවින් මම මාළු අඩංගු මාළු පාන් එකක් ලබාගත හැකි ක්‍රමයක් සොයමි. ඔබවත් දන්නෙ හි ද?